කැලෑ යකුම

 




පහතරට සම්ප්‍රධායේ අභාවයට ගිය ශාන්තිකර්මයක් ලෙස කැලෑ යකුම හඳුන්වා දීමට පුළුවන. කැලෑ යකුම් යාගය ලෙස ද මෙය හඳුන්වනු ලබයි. මෙය කළුතර දිස්ත්‍රික්කයේ මුහුදුබඩ ප්‍රදේශයට පමණක් සීමා වී තිබුණි. සෑම වසරකම සිංහල අලුත් අවුරුදු සමයේදී ගමේ සියලුම දෙනාගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබන මෙකී ශාන්තිකර්මයේ ප්‍රධාන අරමුණ වූයේ ගමට සෙත් පැතීම සහ විනෝදාස්වාදයයි. මෙම ශාන්තිකර්මය පිළිබඳව වැඩිදුර තොරතුරු පොත පතින් සොයාගත නොහැකිය. 

මෙම ශාන්තිකර්මය සිදු කිරීමේදී දින නියම කරගනු ලබන්නේ ගමේ වැඩි දෙනාගේ කැමැත්තෙනි. ඉඩපාඩු සහිත පිට්ටනියක් හෝ පුද්ගලික ඉඩමක් රංග භූමිය සඳහා යොදා ගනු ලබන අතර මේ වෙනුවෙන් පූර්ව චාරිත්‍ර වශයෙන්කරනු ලබන කප් සිටුවීමක් හෝ ඇප නූල් බැදීමක් තිබූ බවක් දක්නට නොමැත. 


කළුතර දිස්ත්‍රික්කයේ පානදුරා තොටමුණේ තල්පිටි දෙබද්දට අයත්  හිරණ නමැති ගම්මානයේ මෑතක් වන තුරුම මෙම ශාන්තිකර්මය අද්‍යතනය වන විට අභාවයට ගොස් ඇත. මෙම ශාන්තිකර්මය සඳහා මඩු, කූඩාරම් ඉදිකිරීමක් නොකරන අතර එළිමහනේ උතුරට මුහුණලා ප්‍රධාන සැරසිල්ල වන වීදිය සකස් කරනු ලබයි. කෙසෙල් කොළ , ගොක් කොළ සහ හබරල කොළ යොදා ගනිමින් ඉතා අලංකාර ලෙස සරසනු ලබන මෙම වීදිය සූනියම් දෙවියන්ගේ රූපයකින්ද , ඉර හඳ සැරසිල්ලෙන්ද , ගොක් පියුමිද යුක්තය. එහි මැද ගැබ මල් පහන් දැල්වීම සඳහා උචිත අයුරින් සකස් කිරීම විශේෂ ලක්ෂණයකි. ඊට අමතර වශයෙන් කණු සිටුවා මැස්ස බැඳ බුරුල්ල කොළවලින් හා පුවක් අත්තෙන් සරසා ආවරණය කළ සන්නි වීදියක්ද, ගොරකා ගස් දෙකක් සිටුවා සකස් කළ අයිලයක්ද ඇත. සතර කොණ මල් පැල් සතරක්ද කළු යකා, රීරි යකා, අභිමාන යකා, සූනියම් යකා, තොට යකා වැනි ප්‍රධාන යක්ෂ කොට්ඨාස වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් සකස් කළ පිදේනි තටුද, එකී ශාන්තිකර්මය සඳහා යොදාගනු ලබන අනෙක් සැරසිලි මෙන් ය. යාග භූමිය වටා ගොක් රැහැන් ඇද සීමා කරනු ලැබේ. 

ත්‍රිවිධ රත්නයට නමස්කාර කොට දෙවියන්ට කවි කියා මල් පහන් දල්වා කන්නලව් කිරීමෙන් කැලෑයකුම ආරම්භ කරනු ලබයි. ඉන් අනතුරුව මල් අස්න නැටීම, විවිධ තාල රූප සහ පද පංති අනුව කවි කියා නැටීම යහන් දැක්ම සහ මඟුල් බෙර ගසා එකී කටයුතු අවසන් කරනු ලබයි. අනතුරුව ආරම්භ කරනු ලබන්නේ සමයම් නැටීමයි. ශාන්තිකර්මයේ ආතුරයා ලෙස සභාවේ කෙනෙකු තෝරාගන්නා අතර ඔහු වත් පොහොසත්කම් වලින් යුත් ගමේ පිළිගත් පුද්ගලයෙකු විය යුතුය. 


දෙකොන විලක්කු නැටීම
කැලෑ යකුමේ ප්‍රධාන අංගයක් ලෙස හඳුනා ගත හැකිය. දෙකොන විලක්කු බැඳ අතට පන්දම ගෙන දුම්මල කීල ගසමින් යාග භූමියේ තැන තැන දුව යමින් කරන මෙම නර්තනය වේගවත් නැටුමක් වනවා පමණක් නොව දීර්ඝ වේලාවක් පවත්වනු ලබයි. පැයකට පමණ ආසන්න කාලයක් මෙය පෙන්වන අතර ඇතැම් අවස්ථා වලදී සභාවේ සිටින පුද්ගලයන් ප්‍රලය වන බවද කියයි. ඔවුන් කැඳවාගෙන විත් තෙල් සාත්තු කොට ආතුර පන්දලම අසලින් වාඩි කරනු ලබයි. 

ඇඳුරා යහන  අල්ලාගෙන දරදඩු වීමෙන් මෙය නිමාවට පත්වේ. මෙය අතිශය උද්වේගකර අවස්ථාවකි. දෑතින් අල්ලා ගත් යහන සොලවමින් කඩා බිඳ දැමීමට සූදානම් වන ආකාරයක් නිරූපණය කරයි. එම මොහොතේ සවිමත් පිරිමින් කිහිප දෙනෙකු සහ සහයක ඇඳුරන් ඉදිරිපත් වී නර්තන දැක්වූ ඇදුරා තදකොට අල්ලා ගෙන  දෙකොන විලක්කුවේ ගිනි දැල් නිවා , අත් පන්දම් උදුරා ගෙන පැදුරක දපවා අල්ලා ගනු ලබයි. ටික වේලාවක් දගලන ඇඳුරා දතකට පූට්ටු වී දරඳඩු වෙයි.  මෙම අවස්ථාවේ ප්‍රධාන යකැඳුරා කහ දියර මතුරා ඉස, මුහුණේ කහ දියර පිස, කහ දියර බිඳු කිහිපයක් පොවා දත් ඇඳි අතර සිරවීඇති දෙකොන විලක්කුව ප්‍රවේශමෙන් ගලවා ඉවත් කරගනු ලබයි. 


දෙකොන විලක්කුව නැටීමෙන් පසු පාලි හා සන්නි නැටීම සිදුකරනු ලබයි. පාලි හා සන්නි  නැටීමට පෙර වඩිග පටුන නටන අවස්ථාවන්ද දක්නට ඇත. පුරා රාත්‍රියක් මුළුල්ලේ පවත්වනු ලබන මෙම ශාන්තිකර්මය අවසන් වන්නේ හිරු උදාවෙන් පසුව කරන ගරා යකුම් නැටීමෙනි. ගරා යකුන් නටා අයිලය පද්දා අයිලය කඩා වස් දොස් හැර පිං කවි කියා , දෙවියන්ට පිං දී පින් බෙර ගසා දෙවියන්ට ඉවත්වන ලෙසට ආරාධනා කර ඉන් අනතුරුව මුවහත් ආයුධයකින් වීදිය කපා කොටා කඩා බිඳ දමනු ලබයි. 

මූලාශ්‍ර :

ශාන්තිකර්ම සහ අභිචාර විධි-ඥානසිරි පීරිස්,වාසනා ප්‍රින්ටර්ස්,දංකොටුව,2006

1 Comments

Previous Post Next Post