පෑබල රුසිරෙන් ගරුතර තෙදැති යකුන් හට එල්ලේවේවැල සුරතින් දරමින් අදිකාරම් නිලය කලේ
ඒ බල දහසක් තෙදලත් සීනිගමයි දෙවොල කලේ
වාහල දෙව් වරම දෙනුය පාගන්නට මෙගිනි මැලේ
පත්වූ අඳුන් ගිනි මුදුනට සතහට දන් උදව් කලේ
උත්තම වෙඳ පඬි නිරිඳුගෙ මැකුව එදා නෙත නළලේ
සතහට කරුණා කරමින් වැඩ සිට තෙද බල විපුලේ
පත්තිනි දෙවි වරම අපට පාගන්නට මෙගිනි මැලේ
සබරගමු ප්‍රදේශයේ පත්තිනි දේවාල තුළ වාර්ශිකව සිදු කරන ලද යාතුකර්මයක් ලෙස ගිනි මඩුව හඳුන්වා දිය හැකිය. ඇතැමුන් පවසන ආකාරයට ගිනි මඩුව යනු පහන් මඩුවට යොදන පර්‍යාය නාමයකි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ පත්තිනි දේවියගේ සළඹ හා බැදුණ පුරාවෘත්තයක් පැවතීමයි. පත්තිනි දේවියගේ ආභරණ අතරින් "ගිනි සළඹ" ලෙසින් හඳුන්වන ආභරණය මෙකී ජනශ්‍රැතියට කරණ වී තිබේ.
අයගම ප්‍රදේශයේ බටවල පත්තිනි දේවාලයට මෙකී ගිනි සළඹ පහළ වූ බවත් , එය පහළ වූයේ බට පදුරකින් බවත් , එහිදී බට පඳුරේ කොටසක් පිළිස්සී ගිය බවත් ජනප්‍රවාදයේ කියැවේ. එකී හේතුව නිසාම එම දේවාලයේ වාර්ෂික මඩු යාගය ගිනි මඩුව ලෙස ප්‍රදේශවාසීන් හඳුන්වනු ලබයි.
කෙසේ නමුත් ගිනි මඩුව තුළ පහන් මඩු ශාන්තිකර්මයට අයත් බොහෝ චාරිත්‍ර විධි ඒ ආකාරයෙන්ම අන්තර්ගත වන නමුත් ගිනි මඩුව යනු පහන් මඩුවම නොවේ. ගිනි මඩුවක ඇති විශේෂත්වය වන්නේ ගිනි පෑගීම සහ පන්දම් නැටීමයි. පහන් මඩු යාගයට වඩා වැඩි අවධානයක් ගිනි මඩුවේදී ගිනි පෑගීමේ කාර්‍යය කෙරෙහි යොමුකර ඇත.
ගිනි පෑගීම සඳහා අවශ්‍ය කරන මිල්ල දර සපයා ගැනීම සඳහා මිල්ල ගහ පේ කර ගැනීමටත්, එයින් කැබැල්ලක් කපාගෙන පෙරහැරින් වඩම්මවා ගෙන විත් තොරණෙහි තැන්පත් කර තැබීමත් සම්මත චාරිත්‍රයකි. ගිනි මඩුවේදී ගිනි පෑගීම සඳහා යොදාගනු ලබන ගිනිමැලයේ ප්‍රමාණය පහන් මඩුවේ දී යොදාගනුලබන ගිනි මැලයේ ප්‍රමාණයට වඩා විශාල වේ.
එක් දිනක් පමණක් පවත්වනු ලබන ගිනි මඩුව එක්දා ගිනි මඩුව ලෙසද තුන් දිනක් පුරා පවත්වනු ලබන ගිනි මඩුව තුන්දා ගිනි මඩුව ලෙසද ව්‍යවහාරයේ පවතී. ගිනි මඩුවේදී දේවාභරණ තැන්පත් කිරීම සඳහා යොදා ගන්නා ස්ථානය "කෝවිල් ගෙය" නමින් හඳුන්වනු ලබයි.
ගිනි මඩුවේ පූජා විධි රටාව සංක්ෂිප්තව...
මූලාශ්‍ර :
ශාන්තිකර්ම සහ අභිචාර විධි-ඥානසිරි පීරිස්,වාසනා ප්‍රින්ටර්ස්,දංකොටුව,2006