අභිචාර විධි ආර්ථික වශයෙන් බලපෑ සැටි...

ප්‍රාග් මානවයාගේ කාලයේ සිටම අභිචාර විධි කෙරෙහි පෙළඹීමක් මානවයා තුළ දැකගත හැකි විය. මෙම ලිපියෙන් සඳහන් කිරීමට උත්සාහ කරන්නේ අතීත ජන සමාජය තුළ අර්ථික සුභසිද්ධිය ළඟා කර ගැනීම සඳහා සිදු කරන ලද අභචාර ක්‍රම මොනවාද යන්න පිළිබඳවයි.


 

මොනවද මේ අභිචාර කියන්නේ ?

ප්‍රේසර් පඬිතුමා සඳහන් කරනු ලබන්නේ ආගමේ මූලාරම්භය අභිචාර විධි වන බවයි. කිසියම් නිශ්චිත අරමුණක් ඉටු කර ගැනීම සඳහා අභිචාර විධීන් කෙරෙහි මානවයා නැඹුරු වේ. ප්‍රේසර් පඬිතුමා අභිචාර විධි  "මිථ්‍යා මත පදනම් වූ ව්‍යාජ විද්‍යාවක්" බවද  පෙන්වා දෙනු ලැබේ. කායික, මානසික, සමාජයීය සහ ආර්ථික අවශ්‍යතාවන් මත මෙම අභිචාර විධි ගොඩනැගී තිබේ. 

ආර්ථික සමෘද්ධිමත් බව හා බැඳුණු අභිචාර විධි


ආර්ථික වශයෙන් ගත් කළ නිසි කල වැසි ලබාගැනීමට, භවබෝග සම්පත් ලබා ගැනීමට, සම්පත් ආරක්ෂා කර ගැනීමට සහ වැඩි දියුණු කර ගැනීමට යන අරමුණු සඵල කර ගැනීම සඳහා ගැමියා අභිචාර විධි දෙසට ද නැඹුරු වුණී.  


🔺කමතේ අස්වැන්න කපා පාගා ගැනීමෙන් පසුව  "වාසියි" යන පදය උච්චාරණය කිරීමෙන් අනතුරුව වෙනත් කිසිදු කතා බහක් අස්වැන්න මනින කාලය අතරතුරදී නොකිරීම ඇතැම් පළාත්වල සිදුකරන්නකි.


 🔺ට්‍රෝබියන්ට් දූපත්වල ධීවරයන් කලපු වලත් ගැඹුරු මුහුදේදීත් මසුල් ඇල්ලීමේ ක්‍රියාවේ යෙදෙති. ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම පහසු ක්‍රියාවක් නොවේ. එබැවි එම කාර්‍යය සාඵල්‍ය කර ගැනීම සඳහා ඔවුන් මත්ස්‍ය රූපයක් තනා ගඟට දමනු ලබයි. එවිට සැබෑ මත්ස්‍යයින් පැමිණෙතියි යන විශ්වාසයයෙන් ඔවුන් එසේ සිදු කරනු ලබයි. 

🔺වැදි ජනතාවද මෙවන් අභිචාර ක්‍රම භාවිත කර තිබුණි. නිදසුන් ලෙස අටවන ලද මද්දකට සතුන් අසු නොවුනහොත් ඔහු සිය වස්ත්‍ර උනා දමා තමන්ම මද්ද වෙතට ගොස් එය නුදුටුවා සේ එයට හසුවී " මම මද්දට හසු වුණා " කියා හඬ නඟයි. ඉන් පසුව නොවරදවාම සතුන් අසු වෙතෙයි යන්න ඔවුන් විශ්වාස කරයි. එසේම කිඹුලන් අල්ලන්නට උගුලක් අටවා සිටින විට ඔහු බත් ගුලි තුනක් පළමුවෙන්ම ගිල දමයි. මෙසේ කිරීමෙන් කිඹුලාද ඇම ගිල හසු වන්නේ යැයි ඔහු සිතයි.


🔺කෘෂි කර්මාන්තය ආශ්‍රයෙන් තවත් අභිචාර ක්‍රම භාවිත කරනු ලබයි. මෙය කෙම් ක්‍රමයකි. "කුඹුරේ කීඩෑ උවදුර පැතිරුණ අවස්ථා වලදී , අළු බඳුනක් ගෙන එය අළු මන්ත්‍රය නම් විශේෂ මන්ත්‍රයකින් ජපකොට ඉර උදාවීමට පෙර අලුයම් කාලයේ නිරුවතින් කෙතට ගොස් ගොයම් ගස් මත අළු ඉසීම" මෙහිදී සිදු කරනු ලබයි. මෙහි විද්‍යාත්මක කාරණාවක් ගැබ්වී තිබේ. හිරු උදාවෙන් පසු ගොයම් ගසේ පිනි වියැළේ. හිරු උදාවට පෙර අලුයම් කාලයේ ගොයම් ගස මත ඉතා ම හොඳින් පිනි වැටී ඇති නිසා ඒ මතට වැටෙන අළු හොදින් තැවරේ. එසේ අළු ගසට තදින් තැවරීම නිසා කීඩෑවන්ගේ ශ්වසනයට බාධා ඇතිවී ඔවුන් විනාශ වේ. නිරුවතින් කෙතට යා යුතු බව පවසන්නේ කිසිවෙකුටවත් නොපෙනෙන තරම් අලුයම මෙසේ සිදු කළ යුතු නිසාය. ඒ අනුව ගම්‍ය කර ගත හැකි කරුණ වන්නේ ඇතැම් අභිචාර විධීන් තුල සත්‍යතාවක් පවතින බවය.


🔺ධාන්‍ය සශ්‍රීක කර ගැනීම සඳහා ඇතැම් පළාත්වල ගසක පළමු ඵලදාව බඩදරු ගැහැණියකට අනුභව කරන්නට දීමෙන්, ගසේ ඵලදාව වැඩිවෙතැයි විශ්වාසයක් ඇත. සමහර ජනතාවන් අතර ධාන්‍ය වපුරනු ලබන්නේ දරුවන් වඩාගත් කාන්තාවන් විසිනි. එසේ කිරීමෙන් කෙත සරුවෙතැයි ඔවුන් විශ්වාස කරනු ලබයි. ග්‍රීසියෙහි හා රෝමයෙහි ශස්‍ය වර්ධනය පිණිස බඩදරු ස්ත්‍රීන් මරා මිහිකත් දෙවියන්ට පූජා කළ බවද කියයි. 

🔺මුට්ටි මංගල්‍යද අභිචාර ක්‍රමයකි. මෙය සිදු කරනු ලබන්නේ වගා කටයුතු ඉතා සාර්ථක ලෙස සිදු කරගැනීමට හැකිවේය යන විශ්වාසය මත පදනම්ව අයියනායක දෙවියන් වෙනුවෙනි. අස්වැන්න නෙළා ගැනීමෙන් අනතුරුව මුට්ටි මංගල්‍ය පවත්වා බාරය නිදහස් කර ගනී.

කිසියම් කර්මාන්තයක යෙදෙන ගැමියා තමා දන්නා සියලුම කාර්මික උපාය මාර්ග යොදා සාර්ථක ලෙස එම කාර්‍යය සිදු කිරීමෙන් අනතුව යහපත් ප්‍රථිපල ලබා ගත නොහැකි වේ යැයි යන බිය මත අභිචාර විධීන් සිදු කරනු ලබයි. 


මූලාශ්‍ර :

ශාන්තිකර්ම සහ අභිචාර විධි-ඥානසිරි පීරිස්,වාසනා ප්‍රින්ටර්ස්,දංකොටුව,2006

සිංහල ගැමි නාටක-මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර,චතුර මුද්‍රණාලය,වැල්ලම්පිටිය,1968

ජනශ්‍රැති විද්‍යාව- නන්දසේන රත්නපාල,චතුර මුද්‍රණාලය,වැල්ලම්පිටිය,1995.


1 Comments

Previous Post Next Post