අභාවයට ගිය තහංචි කවි


අතීත ගැමි සමාජයේ ප්‍රධාන ද්වාර කර්මයක් වන විවාහයේදී සිදු කරන ලද සුවිශේෂී චාරිත්‍රාංගයක් ලෙස තහංචි කවි හඳුනාගත හැකිය. එය අද වන විට ක්‍රමයෙන් අභාවයට ගොස් ඇත. තහංචි යනුවෙන් අදහස් කළේ තහනම් කිරීමයි. මනමාලයා , මනාලියගේ නිවසට ළඟාවන විට කඩුල්ලේ සිට ඔහුට ඇතුළුවීම තහනම් කරනු ලබයි. එසේ සිදු කරන්නේ තහංචි කවි මඟිනි. මනමාලයා ඒ තහංචිය ඉවත් කරන්නේ ඊට පිළිතුරු කවියක් ගායනා කිරීමෙන්‍ ය. කඩුල්ලේ  සිට පෝරුව දක්වා ක්‍රමක්‍රයෙන් මනමාලයාගේ නෑ පිරිස විසින් ප්‍රති තහංචි කවි කීමෙන් තහංචිය මඟ හරවා ගනී. යථෝක්ත තහංචිය මඟුල් මේසයේ අහාර අනුභවය දක්වා සිදු කරයි. මඟුල් ගෙදර තිබෙන ඇද, පුටු, උඩු වියන්, ඇතිරිලි, සෙම්බු, කොතල, පඩික්කම් ආදී භාණ්ඩ පවා තහචි කිරීම මේ චාරිත්‍රයේදී සිදුවේ. මෙම තහංචි කිරීම් වලට ප්‍රති තහංචි කවි කීමෙන් ජයග්‍රහණය ලත් මනමාලයා පෝරු මස්තකයේ සිට මඟුල් ගෙදර සියලුම භාණ්ඩ සහිතව මනමාලිය ද ඔහු දිනාගත් බව සභා මැද ප්‍රකාශයට පත් කරනු ලබයි. 

බුද්ධන් සරණෙන් සිරස         තහංචි

ධම්මන් සරණෙන් දෙවුර       තහංචි

සංඝන් සරණෙන් දෙපය        තහංචි

මේ තුන් සරණෙන් කඩුලු      තහංචි  

ඊට පිළිතුරු කවිය මෙසේය ;

බුද්ධන් සරණේ සිරස             දරංඤ්ඤයි

ධම්මන් සරණේ දෙවුර           දරංඤ්ඤයි

සංඝන් සරණේ සිවුරු             දරංඤ්ඤයි

මේ තුන් සරණෙන් කඩුලු   පනින්ඤ්ඤයි

තහංචි කවි කියැවෙන්නේ නාට්‍යාකාරයෙනි. අවස්ථාවෙන් අවස්ථාවට පිරිස මැද මනාලියගේ පාර්ශවයේ කෙනෙක් කියන කවියට මනමාලයා අවශ්‍ය පිළිතුරු දෙයි. පසු කලෙක මනමාලයා වෙනුවට ඔහුගේ පාර්ශවයේ කෙනෙක් පිළිතුරු දීමේ පුරුද්ද ඇතිවිණ. කවි කියන අතරම සමහර අවස්ථාවලදී ගද්‍යයෙන්ද පාඨ කීම තහංචි කවි වල ස්වභාවය වේ. කවි විවිධ විරිත් යොදා ප්‍රබන්ධ වී තිබීම නිසා ද්වාරකර්ම අවස්ථාව නාට්‍යෝචිත රසවත් එකක් බවට නිරාසයෙන්ම පත්වී තිබේ. 

මායා බිසව සල් උයනට වැඩි             දා

මහඹබු රන්දැ අරගෙන ආ                 දා

කුමරා රන්දැල් පිට වැඩ උන්             දා 

පියවිලි පිට ඉන්නට නැත බා             දා


ඉහත කවියේ සඳහන් වන්නේ මිදුලේ එලූ පියවිලි  තහංචි කළ විට ඒ තහංචිය ඉවත් කිරීමට කියන ලද පිළිතුරු කවියකි. මෙය බුදුන් වහන්සේගේ උපත කරණ කොට ගෙන ගෙතුණ කවියක් ලෙස හැදින්වීමට පුළුවන. එයින් ගම්‍ය වන්නේ ආගමික සංසිද්ධීන් පවා තහංචි කවි තුළට ගැබ් කොටගෙන ඇති ආකාරයයි.

තරුණයෙකුට තරුණියක් ඉල්ලූ පමණින් සරණ පාවා නොදෙන බව ඇගවීම සඳහා මෙම චාරිත්‍රය ආරම්භ වූ බව පෙනී යයි. සමාජානුයෝජනයට අවශ්‍ය දැනනුවණ ලබා දීම තහංචි කවි වල මුඛ්‍ය අරමුණයි.  එමෙන්ම මනමාලියගේ අගය සහ ඇගේ නෑදෑ පිරිසගේ තාරාතිරම මලමාලයාට අවබෝධ කිරීමත් , විවාහ මංගල්‍යට සපැමිණි පිරිසට වීනෝදයක් ගෙනදීමත් මෙම චාරිත්‍රයේ අරමුණු වේ. 

අතීතයේ සිට මේ දක්වා සාම්ප්‍රධායික ලෙස පැවති චාරිත්‍ර බොහොමයක් සිංහල ජන සංගීතය සහ සමාජය සමඟ බද්ධ වී තිබේ. අතීතයේ පවති විවාහ ක්‍රමය, සමාජ පරිසරය, ආකල්ප හඳුනා ගැනීමේදී තහංචි කවි ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන පෙන්වා දිය හැකිය.  

මූලාශ්‍ර :

https://wachana.lk/culture/cul/19/

නුවරකලාවියේ නිමිති-ඔරුමාකුලමේ චන්දන,බිහිරි විද්‍යාලයීය මුද්‍රණාලය,රත්මලාන,1992.

ජනශ්‍රැති විද්‍යාව- නන්දසේන රත්නපාල,චතුර මුද්‍රණාලය,වැල්ලම්පිටිය,1995.



1 Comments

Previous Post Next Post