නියං සමයක පෙර නිමිති දෙන කෑරලා...


කෑරලා යනු ඉතාම අප්‍රසන්න කටහඬකින් යුත් කුරුල්ලෙකි. පුරාතන ගැමියන් කෑරලා නිමිති කාරක පක්ෂියෙක් ලෙස සලකනු ලබයි. කෑරලෙකු පෙරමඟට හමු වීම අනිෂ්ට විපාක ගෙන දෙනු ලබන බව ඔවුන් විශ්වාස කරනු ලබයි. ගෙදර වහලයේ සිට හෝ ගෙයි දොරකඩ දෙස බලා ගෙන කෑරලා හඬයි නම්, එහි වාසය කරන කෙනෙකුගේ හදිසි මරණයක් පිළිබඳව දුර්නිමිත්තක් ඇති කරවනු ලබන බව විශ්වාස කෙරේ.  එයට දෙස් දෙන කවි පවා නුවරකලාවියේ ජන වහරෙන් සොයා ගත හැකිය. පහත දැක්වෙන්නේ එවන් කවියකි.


එළිවෙලා කුකුළු හඬලන                       වෙලාවේ
ඇහැරිලා බිළිඳු කිරි බොන                     වෙලාවේ
කෑරලා හැඩුවේ දොරකඩ                       මාරා වේ
මං මුළාවුනි ද දෙවියනි                          දෝලාවේ

 

කෑරලාගේ උගුර සිහින් ය. හොට දිගුය. ඌ කිසිවක් හොටෙන් ගත් වහාම හොට උඩට හරවා එය ගිල ගැනිමට උත්සාහ කරනු ලබයි. කෑරලාට ජලය පානය කිරීමටද හැකිවන්නේ ඒ ආකාරයෙනි. බිම තිබෙන ජලයෙන් හොටට ගත හැකි ප්‍රමාණයක් ඌ පානය කරයි. එය ජල පොදක් වැනි සුළු ප්‍රමාණයකි. එම නිසා කෑරලා දිය බීමට වැසි වැටෙන තුරු අහසට හොට අයා බලා සිටී. නියං සමය උත්සන්න වත්ම උගේ පිපාසයත් අධික වෙයි. එවිට පිපාසයේ වේදනාවෙන් ඌ අහසට හොට අයාගෙන යටි ගිරියෙන් කෑ ගසනු ලබයි.
 
කෑරලාගේ “ක්...................ර්..........................කැර්...............ක්................ක්......................ක්‍රැර්............................” යන අප්‍රසන්න හඬ අසන ගැමියා මෙය සලකන්නේ දිගු නියං සමයක පූර්ව ලකුණක් වන බවයි.
 
“ ඔය කෑරැල්ලා බෙරිහං දෙන්ඩ පටන් ගත්තේ නම් හොඳකට නෙවෙයි බොලං. මගේ හිතේ වහින එකක් නෑ ආයේ කල්පේකට ”
 
යනුවෙන් ගැමි සමාජය අවබෝධය අවබෝධ කරගෙන ඇත. එබැවින් ගැමියෝ කෑරලා නියගයේ පෙරනිමිත්තක් ලෙස හඳුන්වනු ලබයි. 


මූලාශ්‍ර :

නුවරකලාවියේ නිමිති-ඔරුමාකුලමේ චන්දන,බිහිරි විද්‍යාලයීය මුද්‍රණාලය,රත්මලාන,1992.




1 Comments

Previous Post Next Post