හිස වෙස් බැඳීමේ මංගල්‍යය

මෙම ලිපියෙන් පැවසීමට උත්සාහ කරනු ලබන්නේ උඩරට සම්ප්‍රධායට අයත් ආධුනික නර්තන ශිල්පීන් විශයෙහි පවත්වනු ලබන හිස් වෙස් බැඳීමේ මංගල්‍යය පිළිබඳව සංක්ෂිප්තයකි.  එසේම මෙහිදී දක්වනු ලබන්නේ වසර 3050 අතර කාලයක පැවති චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳවයි.  



මොකක්ද  මේ හිස වෙස් බඳිනවා කියන්නේ... 

දීර්ඝ කාලයක් මුළුල්ලේ ශිල්ප හදාරන ලද උඩරට සාම්ප්‍රධායේ ආධුනික කලා ශිල්පියෙකු ප්‍රථම වරට නැකත් චාරිත්‍රානුකූලව හිස වෙස් පැළදීම හිස් වෙස් තැබීමේ මංගල්‍යය ලෙස හඳුන්වනු ලැබේ. මෙකී උත්සවය,

හිස වෙස් බැඳීම. වෙස් තැබීම, කලැළි බැසීම, මඟුල් යක් කාරිය, වෙස් මංගල්ලය, වෙස් පැළැඳවීම, කලඑළි මංගල්ලය ආදී නම් වලින් හඳුන්වනු ලැබේ. 

මේ කුමන සංඥා නාමයකින් හැඳින්වුවද ඉන් ගම්‍ය වන්නේ අධුනික නර්තන ශිල්පියෙකු ප්‍රථම වරට නැකැත් චාරිත්‍රානුකූලව උඩරට නර්තන ශිල්පියෙකු පළඳින සම්පූර්ණ වෙස් ඇඳුම් කට්ටලයෙන් සැරසී ඊට අදාළ පූජා චාරිත්‍ර ඉටු කර ප්‍රථම වරට නර්තන දක්වන මංගල අවස්ථාවයි. මෙම විශේෂ උත්සව අවාස්ථාවෙන් පසු හෙතෙම වෙස් නර්තන ශිල්පියා යන නමින් හැඳින්විය හැකි අතර ඊට පෙර ඔහු හැඳින්විය යුත්තේ නෛයන්ඩි නර්තන ශිල්පියා යන නමිනි.

මෙකී මංගල උත්සව අවසානයේ ඔහුගේ ද දායකත්වය ඇතිව ස්වකීය ගුරුවරයා විසින් සංවිධානය කරනු ලබන ප්‍රථම කංකාරි නර්තන අවස්ථාව වෙස් බැඳි කංකාරිය හෝ කලඑළි මඩුව නමින් හෝ හඳුන්වනු ලැබේ. පහතරට සම්ප්‍රධාය දෙසට යන විට එය මඩු බැසීම, කල එළි මඩු බැසීම, කල එළි මඟුල වැනි නම් වලින් හඳුන්වනු ලබයි. සබරගමු සම්ප්‍රධායේදී මඩු බැසීම, ගුරු වරම් දීම යන නම් වලින් හඳුන්වනු ලැබේ. භාරතීය නර්තන සම්ප්‍රධාය තුළ මෙකී අවස්ථාව අරන්ගේත්‍රම්, අරන්ගේතිතම්, මණ්ඩලී පූජා වැනි සංඥා නාම වලින් හඳුන්වනු ලැබේ.  

හිස වෙස් බැඳීමේ මූලික අරමුණු...

මෙහි ප්‍රමුඛතම අරමුණ වන්නේ, ගුරුවරයා යටතේ දීර්ඝ කාලයක් ගුරු හරුකම් ලැබූ ආධුනික නර්තන ශිල්පියා සමාජයට ගැළපෙන කොහොබා කංකාරිය හා තදානුබද්ධ ශාන්තිකර්ම වලට අදාළ නර්තන, ගායන හා වාදන ඉදිරිපත් කළ හැකියයන අදහස පොදු සමාජයට ප්‍රදර්ශනය කිරීමයි. සරලව ගත් විට  නර්තන ශිල්පියා හඳුන්වා දීම මෙහිදී සිදුවේ. 

එපමණක් නොව සමාජයේ සිටින සෑම දෙනාගේම ආශිර්වාදය හා පිළිගැනීමට ලක් කරවීමත් , ඔහුට තෑගි බෝග ලබාදී දක්ෂතාවය අගය කිරීමට සැලැස්වීමත් මෙහි අරමුණු වේ.

හිස වෙස් මංගල්‍යයේ චාරිත්‍ර වාරිත්‍ර සංක්ෂිප්තව

01. ප්‍රථම භාගය

ප්‍රථමයෙන්ම  ගුරුවරයා ආරක්ෂ නූලක් ආධුනික නර්තන ශිල්පියාට දමනු ලබයි. පසුව නැකත් චාරිත්‍ර සකස් කිරීම සිදු කරනු ලබයි. ස්ථානයක් වෙන් කරවා ගෙන නෑදෑ හිතමිත්‍රාදීන්ට බුලත් දී ආරාධනා කරනු ලබයි. කැවිලි පෙවිලිද සකස් කරනු ලබන්නේ නැකත් චාරිත්‍ර වලට අනුවය. මාස තුනකට පමණ පෙර සිට ආධුනික නර්තන ශිල්පියා පේ වීම සිදු කරනු ලබයි. එසේම විශේෂ පුහුණුවීමක්ද මෙම කාලය තුළ සිදු කිරීමට පටන් ගනී. 

ප්‍රථම භාගයේ දෙවන පියවර

මෙහිදී හිස වෙස් තැබීමේ චාරිත්‍ර වාරිත්‍ර සිදු කරනු ලබයි. මංගල මඩුව සකස් කිරීම, වෙස් ඇඳුම් කට්ටලය පේ කිරීම මෙම කාලය තුළ මූලිකවම සිදු කරනු ලබයි. හිස වෙස් තබන දිනට පෙර දිනයේ ශිල්පියා විහාර ගෙය තුල පේ වී සිටිනු ලබයි.  අනතුරුව දෙමාපියන්ට හා ගුරුවරුන්ට  සහ  වැඳ පිරුවට හැඳ අවසර ලබා ගැනීම සිදු කරනු ලබයි. වාදන ශිල්පීන්ට ද වැඳ අවසර ලබා ගනී. මල් පහන් පූජා කර ගුරු පූජා පවත්වා හඟල ලබා ගෙන රෙදිකඩකින් මුහුණ ආවරණය කරනු ලබයි. 

එසේම නැකත් චාරිත්‍ර වලට අනුව ජටාව හිස මත තැබීම, වනන්තරාව පැළදීම. රිදී කාසියක් සහිත වහුර කොරහකින් මුහුණ බැලීම. මංගල වස්තු දැකීම (කිරි ගසක් වැනි) , දිය කොතලයෙන් නැහැවීම, පොල් බිදීම, වහන්තරාව ඉවත් කිරීම, ගුරු දෙමාපියන්ට වැඳ නමස්කාර කොට නර්තනයට අවසර ලබා ගැනීම , ශ්ලෝක සහ කවි ගායනා කොට ස්වකීය ශිෂ්‍යයාට දියුණුව ප්‍රාර්ථනා කිරීම වැනි චාරිත්‍ර මෙම කාලය තුළ සිදුවේ.

 
02. ශිල්ප දැක්වීම

මංගලම් නර්තනයෙන් ආරම්හ කර දක්ෂතා දැක්වීම මෙම කාලය තුළ සිදු කරනු ලැබේ.  නර්තන අවසානයේ ආධුනික නර්තන ශිල්පියා මෙතෙක් කලක් තමාට ශිල්ප ශාස්ත්‍ර ලබාදීම වෙනුවෙන් ගුරු පඬුර්‍ය් පූජා වට්ටියක තබා පිළිගැන්වීම සිදු කරනු ලබයි.  මෙම වෙස් මංගල්‍යය සඳහා සාමාන්‍යයෙන් තෝරා ගනු ලබන්නේ පොහොය දිනයක උදය වරුවයි.  නොඑසේ නම් වෙනත් සුබ දිනක් තෝරා ගනී. 

ශිල්ප දැක්වීමේ දෙවන භාගයේදී පසුදා පහන් වන තුරුම කොහොඹා යක් කංකාරියක් නැටීම  සිදු කරනු ලබයි.  

03. තෙවන භාවය

මෙහි තෙවන භාගය නැතහොත් අවසානයේදී ප්‍රබල අභිචාරාත්මක ලක්ෂණ විදහා දක්වනු ලැබේ. මෙහිදී සිදු කරනු ලබන්නේ හිස වෙස් තැබූ ආධුනික නර්තන ශිල්පියාට කිසියම් ආකාරයක ඇස් වහ කටවහ හදි හූනියන් ආදී දෝස ඇතිවී තිබේනම එම දෝස දුරු කිරීමයි. එය වස් දොස් හැරීමේ චාරිත්‍රය ලෙස හඳුන්වනු ලැබේ. 

හිස වෙස් තබා දින හතක් යාමට පෙර වස් දොස් හැරීමේ චාරිත්‍රය සිදු කිරීම චිරාගත සම්ප්‍රධායයි. මෙහිදී ගුරුවරයාගේ නිවසේදිම විස්කම් බලිය, ඇස්වහ මඟල්ල බලිය, සරස්වතී මංගල්ල බලිය, හත් අඩියේ දෙහි කැපීම, දිය කොරහේ බලිය වැනි සෙත් ශාන්ති කිරීම අතීතයේ පටන් පැවති පිළිවෙතයි. 

වෙස් බැඳීමේ මංගල්‍යය අවසන් වන්නේ ගුරුවරයා විසින් පෙරදී බඳින ලද ආරක්ෂා නූල කපා හැර නව ආරක්ෂක යන්ත්‍රයක් පැළඳවීම මඟිනි. 



 

"හිස වෙස් බැඳීම වූ කලී නර්තනය නම් වූ ගැඹුරු ශාස්ත්‍රීය විෂය ඉගෙන ගැනීමට පර්‍යේෂණ කිරීමට හා ව්‍යවහාර කිරීමට ලබා දුන් පූර්ණ පිවිසුම් බලපත්‍රයක්‍ ය."


වර්තමානය වන විට  හිස වෙස් බැඳීමේ මංගල්‍යයක අතීතයේ  පැවති චාරිත්‍ර වාරිත්‍ර බොහෝ ප්‍රමාණයක් ගිලිහී ගොස් ඇති බව ඔබට පෙනේ. එමෙන්ම වර්තමානයේ හිස වෙස් බඳින යෞවන කලා කරුවන් හිස වෙස් බැඳීමෙන් පසු තමා ශිල්ප ශාස්ත්‍රයෙහි හිනිපෙත්තටම ඉගෙනුම ලැබුවාය යන බොළඳ මතයක එල්බ ගෙන සිටී. නමුත් අතීතයේ එසේ නොවේ. ඔවුන් ශිල්ප ශාස්ත්‍රය ප්‍රගුණ කරමින් අලුත් දෑ සොයමින් සිය නර්තන ජීවිතය ඉදිරියට ගෙන ගියෝය.   

සකසා සුරින් අරගෙන සළු              තුරුල්ලා
සකසා එ දිඟුකර එල්වති                 දෙවල්ලා
සකසා අඹා අරගෙන හඟල                 වල්ලා
අඳිනා වත දන ගනු මේ                     සියල්ලා


මූලාශ්‍ර :

ව්‍යවහාරික උඩරට නර්තන කලාව - 2012, මුදියන්සේ දිසානායක,චතුර මුද්‍රණාලය, වැල්ලම්පිටිය.

 


    

3 Comments

Previous Post Next Post