බලන් සකී මේ තල මලකී...

තල මල පිපිලා - ගම් හතක් පාළු වෙයිද?


සඳ විලසින් සඳ මඬල ලෙසින් 
                                         එම රැස් විලසින් තරු වට දිලෙනා
බඳ ගෙතුමෙන් මුතු පබළු පෙළින්
                                       පෙළ කිණිති බරින් දස අත නැමුණා
නද කෙරුමෙන් වීණාවේ හඬින් 
                                      බිඟු රොන් ගනිමින් ගුවනේ කෙළිනා
සොඳ රුවකින් තල මල මෙලෙසින් 
                                      සකි බල සතොසින් දොඹවෙල පිපුණා
 

 ඉහත දැක්වෙන්නේ ගැමියා  තල මලෙහි වරුණ ඉදිරිපත් කරන ආකාරයයි. සොබා දහමේ අපූර්වතම සිදුවීමක් ලෙස තල මල පිපීම හැඳින්වීමට පුළුවන.  තල් ගස් වර්ග කිහිපයක් පරිසරයේ දක්නට ලැබේ. යල් කන්නයේ කනතු හේන් වල වගා කරන ක්ෂුද්‍ර ධාන්‍ය ගණයට ගැණෙන තල හේන් මෙයින් එකකි. අනෙක පොල් ගසට සමාන වූ තාල වර්ගයට අයත් තල් ගසය. එහි පත්‍ර විශාලය. නැටි දෙපස කටු සහිත වේ. මෙය පිරිමි සහ ගැහැණු වශයෙන් උභය ලක්ෂණ දරයි. පිරිමි තල් ගසෙහි ගෙඩි හට නොගැනිම සහ ගැහැණු ගසෙහි ගෙඩි හටගැනීම මෙහි විශේෂත්වයකි. එසේම අවුරුද්දකට දෙවරක් මෙහි ගෙඩි හට ගනු ලබයි. තෙවැන්න වන්නේ, භික්ෂූන් වහන්සේලා පරිභෝජනයට ගන්නා වටාපත සෑදීම සඳහාද යොදාගන්නා තල් ගසය. එතරම් උස් නොවන මෙය විශාලත්වයෙන් අඩුය. පත්‍ර ද ප්‍රමාණයෙන් කුඩාය. මිදි ගෙඩි මෙන් සිහින් ගෙඩි පවතින මෙම තල් ගසෙහි අවුරුද්දක් පාසා මල් ගෙඩි හටගනු ලැබේ. 

ඉහත ප්‍රස්තූතයට අදාල තල් ගස මෙයින් බොහෝ වෙනස් වේ. අඩ සියවසක පමණ ආයු කාලයක් පවතින මෙම තල් ගසෙහි මල් හටගන්නේ එක් වතාවකි. ඉන් පසු තල් ගස විනාශයට පත්වේ. ඇසළ මාසයේ හෝ බිනර මාසයේ තල මල පිපෙනු ලබයි. මෙවැනි තල් ගස් දුලභ වන අතර තල මල පිපීම ද විරල සිදුවීමකි.  මෙසේ පිපෙන තල මල සම්බන්ධයෙන් ජනප්‍රවාදයේ ප්‍රධාන මත දෙකක් නිරූපණය වේ. 

01. තල මල පිපීම සුබ ලකුණක් වන බව 
02. තල මල පිපීම දුර්භාග්‍යයේ සංකේතයක් වන බව

දෙවන මතය දරන්නන් කරන්නේ තල මල පිපුණු පසු වසරක් හෝ දෙකක් ගත වීමට ප්‍රථම ගම පරිහානියට පත්වන බවයි. යම්කිසි විශේෂිත සිදුවීමකින් පසු ඒ හා ආසන්න කාලයේ හටගන්නා සෑම ප්‍රපංචයක්ම එකී විශේෂිත සිදුවීමේ ප්‍රතිඵල ලෙස සිතීමේ ගැමියන්ගේ ලක්ෂණයකි. එබැවින් තල මල පිපෙන ගම හෝ එහි වසන පුද්ගලයින් හෝ යම් කිසි ලෙසකින් වඳ වී යත්නම් එය තල මලේ අපලය නිසා සිදු වූ බව විශ්වාස කෙරේ. එසේ පාළු වන ගම "ඔලගම" යැයි හැඳින්වීමට ද නුවරකලාවියේ ගැමියන් පුරුදු වී සිටිති. උඩරට පළාතේ හාරිස්පත්තුවේ ගැමියා විශ්වාස කරන්නේ තල මලේ අග සිටින පණුවා සමනළයෙකු වී අඟිල ගොසින් යම් කිසි ස්ථානයක වැසූ විට එම ස්ථානය පාළු වන බවයි.  

මෙසේ දුර්නිමිති කාරකයක් ලෙස හඳුන්වන තල මල පිපීම නිසා සිදු විය හැකි ව්‍යවසනයන් වළක්වා ගැනීමටද ගැමියා ආගමික වත් පිළිවෙත් සිදු කරනු ලබයි. එනම්, මිනිස් උසින් තල ගස සුදු තියකින් ඔතා ගසේ තිබියදීම එම මල බුදුන්ට පූජා කිරීමයි. ගැමියෝ එක්ව සුබ දිනයකදී මෙම චාරිත්‍රය ඉටු කරනු ලබයි.


 

අත්ත හොඳයි තද වැස්සට            ඉසලන්ට
පිත්ත හොඳයි තද වරමදු               අඹරන්ට
ගොබේ හොඳයි දස ධර්මේ          කියවන්ට
මේ මල හොඳයි බුදු මඟුලට       ගෙනියන්ට
 




තල මල නිමිති කාරකයක් ලෙස හඳුන්වනවා පමණක් නොව බුද්ධ සිරිත සමඟද සම්බන්ධ වේ. එනම් මලේ කොපු විකසිත වීමෙන් අනතුරුව උතුරු දිශාවට පිහිටීමයි. එය බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් මංචකය අනුස්මරණය කරන්නකි. එසේම තල මල අපල උපද්‍රව දුරු කර ගැනීම පිණිස ද දෙවියන් වෙනුවෙන් පූජා කරනු ලබයි.

රැලපනාව වැව් බැම්මෙන් යන               කලට
බැල්ම වැටුණි පොල් වත්තේ තල           මලට
කඳන් තුනක් බෙදිලා තුන්                   තුලාවට
පනම් බණ්ඩාර දෙවි සරණයි තල            මලට



ගම් හතක් පාළු වේය යන කියමන පිටුපස ඇති යථාර්තය මෙසේය ,  


තල මල මාස හයක් හතක් පිපී පවතී. ඇතැම් අයගේ නූතන පිළිගැනීම් අනුව තල මලෙන් නික්මෙන දැඩි සුවඳ අවට ගම්මාන වල සිටින කෘමි සතුන් රැසක් ඒ දෙසට ඇදී එන බව පවසයි. එයට හේතුව වන්නේ තල මලෙන් නික්මෙන අධික සුගන්ධයයි. මාස තුනක් පමණ ගත වන විට තල මල ක්‍රමයෙන් පරවීමට පටන් ගනී. එවිට කෘමි සතුන්ද එය අතහැර යාමට පටන් ගනී. මෙසේ ඔවුන් තල මලින් පල්ලම් බසින විට ගැමියන්ගේ බෝග වගාවන්ට ඇතුළු වී ආහාර සොයා බව භෝග විනාශ කරති. මෙය හිටි හැටියේ සිදු වන ස්වභාවික විපතකි. 
මේ සම්බන්ධයෙන් ඇති තවත් මතයක් වන්නේ පරාග කාරක සතුන් අවට වෙනත් ගස්වල මල් වෙත නොයාම හේතුවෙන මල් පරාගනය සිදු නොවී ඵල හට නොගන්නා බවයි. 


කෙසේ වුවද  තල් ගස කැළයේ වැඩී, මල් පිපී, පරිසරය අලංකාරවත් කරන ගෞරවයක් ඇති ගුප්ත ගසක් ලෙස හැඳින්වීමට පුළුවන. 



මූලාශ්‍ර :

https://wachana.lk/culture/cul/12/

https://www.pinterest.com/pin/130745195416756379/

නුවරකලාවියේ නිමිති-ඔරුමාකුලමේ චන්දන,බිහිරි විද්‍යාලයීය මුද්‍රණාලය,රත්මලාන,1992.







  


    

Post a Comment

Previous Post Next Post